කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එම අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යන ආයතනවලින් 2025 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙම අයවැය ප්‍රතිපාදන නියමිත මුල්‍ය වර්ෂය තුළදීම අදාළ ව්‍යාපෘතිවලට නිසි ලෙස යොදවමින් එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය අවධාරණය කරමින් එහි ඉදිරි සැලසුම් පිළිබඳවද විමසා බැලුවා. ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම ඉලක්ක කර ගත් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. කාන්තා සහ ළමා කටයුතු, ධීවර, කෘෂිකර්ම, කර්මාන්ත ඇතුළු සියලු අමාත්‍යාංශවල අරමුණ විය යුත්තේ ග්‍රාමීය ජනතාව දිළිඳුභාවයෙන් මුදා ගැනීම බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා. මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ පමණක් නොව රාජ්‍ය නොවන සංවිධානද ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සුරක්ෂාව ලබන දරුවන් සහ පාසල් හැර යන දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසත්, පාසල් අධ්‍යාපනය නිම කරන තෙක්, එකදු දරුවෙකු හෝ අධ්‍යාපනයෙන් පිටමං නොවීමට වග බලා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන බලපෑම් සහ ළමා අපයෝජන වැළැක්වීමට පුළුල් ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බදුන්වී තිබෙනවා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.