ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු කියා සිටියේ යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත් කොන්දේසි මොනවාදැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර නැහැ.

ඊට අදාල අවසන් යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ කටාර් සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන්.

හමාස් සංවිධානය මෙම යෝජනාව පිළිගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් එසේ නොවුනහොත් තත්ත්වය නරක අතට හැරෙනු ඇති බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.

2023 වසරේ ඔක්තෝබර් 07 වන දින ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් දියත් කළා.

හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200ක් පමණ මිය අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ 56,647 දෙනෙකුට දිවි අහිමි වුණා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.