ගාසා තීරයට සාමය ගෙන ඒම සඳහා ඒකබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු, කටාර් සහ තුර්කි නායකයින් කටයුතු කර තිබෙනවා.

ඒ, ඊජිප්තුවේ ශාම් අල් ෂේක් හි පැවති ගාසා සාම සමුළුවේදීයි.

නව හා සුන්දර දවසක් උදා වෙමින් පවතින බවත් දැන් නැවත ගොඩනැගීම ආරම්භ වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඊශ්‍රාලයලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය තහවුරු කිරීමට දැයක වූ කලාපීය නායකයින්ට අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා සාම සමුළුව සඳහා සහභාගී වීමට ඊජිප්තුවට පැමිණීමට පෙර ඊශ්‍රායලයට පැමිණ එහි පාර්ලිමේන්තුවද අමතනු ලැබුවා.

ඒ, හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා නිදහස් කිරීමෙන් පසුවයි.

ඊට සමගාමීව ඊශ්‍රායල භාරයේ සිටි පලස්තීන සිරකරුවන් 2,000කට ආසන්න පිරිසක් නිදහස් කිරීමද මේ වන විට අවසන් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස ලබා තම රටට පැමිණීමේදී ඊශ්‍රායල් ජනතාව ඔල්වරසන් නැඟූ අතර 2,000කට ආසන්න පලස්තීනුවන් ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස ලබා ගාසා තිරයට පැමිණීමේදී ගාසා වැසියන් මහත් ප්‍රීතියෙන් යුතුව ඔවුන් පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැලසුම් කළ පරිදි බොහෝ දේ සිදු වුවද හමාද් භාරයේ සිටියදී මිය ගිය ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා අතරින් 04 දෙනෙකුගේ මළ සිරුරු පමණක් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම මළ සිරුරුවල අනන්‍යතාව අධිකරණ වෛද්‍ය පරික්‍ෂණ මගින් තහවුරු කර ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීමට පියවර ගන්නා බව ඊශ්‍රායල හමුදා පවසා තිබෙනවා.