සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කර ගත් හමුදාවක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළා.

මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ගුවන් හමුදාවටද වැඩි වගකීමක් පැවරී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

“සුරකිමු ලකඹර” තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලගණය මාතෘ භූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව, ක්‍රියාන්විත විශිෂ්ටත්වය සහ මවුබිම ආරක්ෂා කිරීම පිළිබඳ අඛණ්ඩ කැපවීම අගය කරමින් ජනාධිපති වර්ණ ප්‍රදානය සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක් වූ අංක 66, 67 සහ 68 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව සහ 20 වන කෙඩෙට් නිලධාරිනී පාඨමාලාව හැදැරූ නිලධාරීන් නිලධාරිනියන් අධිකාරියට පත් කිරීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අංක 103 වන පියාසර කෙඩෙට් නිලධාරි පාඨාමාලව හැදෑරූ නිලධාරීන් හට පියසාර නිල ලාංඡන පැලඳ වීමද එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

පාඨමාලාවේ සුවිශේෂී දක්ෂතා දැක් වූ කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එහිදී එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා,

මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහහත්වරුන්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා මෙන්ම ගුවන් හමුදා නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් ඊට එක්ව තිබෙනවා.