2025 ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 07කින් පරාජය කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 04කදී සියලුදෙනා දැවී ලකුණු 202ක් රැස් කළා.

හසිනි පෙරේරා පන්දු 99කදී ලකුණු 85ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සමගින්.

නායිකා චමරි අතපත්තු පන්දු 43කදී ලකුණු 46ක් රැස් කළා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිව තිබූ ඉලක්කය ලකුණු 203ක්.

එම ඉලක්කය හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49ක් නිමාවන විට කඩුලු 05ක් දැවී ලකුණු 194ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට අවශ්‍යව තිබුණේ ලකුණු 09ක් පමණයි.

තරඟයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එම පන්දුවාරයේ මුල් පන්දු හතරේදී දුවද්දී දැවී යාමක්ද සමග කඩුලු 04ක් දවා ගනිමින් තරඟය කණපිට හැරවීමට සමත් වුණා.

එම පන්දු වාරයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට රැස්කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟයෙන් ලකුණු 07ක තියුණු ජයක් හිමිවුණා.

මෙය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ හයකට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ පළමු ජයග්‍රහණය වීම විශේෂත්වයක්.