ජනාධිපතිවරණ සමයේ ගොවියා රැකගෙන ආරක්ෂා කර ජීවත් කරනවා කිව්වත් අද මේ අයම ආණ්ඩුව රකින්න ලක්ෂයකගේ හෝ ජීවිත පූජා කරන්න සූදානම් බවත් මිනිමරලා හෝ ආණ්ඩුව රකින්න ජීවිත නැති කර හෝ ආණ්ඩුව රකින්න මෙන්ම ආණ්ඩුව වෙනුවෙන් මැරෙන්න වුවත් සූදානම් බව ආණ්ඩුවේ පාර්ශ්වය කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මැතිවරණ කාලයේ නම් කිව්වේ ලක්ෂ 220ක් රකිනවා යැයි වුවත් අද ආණ්ඩුව රැක ගන්න ජිවිත නැති කරන්න වුවත් සූදානම් බවට පැවසීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස මහතා මේ බව කියා සිටියේ කලාවැව ආසනයේ නල්ලච්චිය කොට්ඨාසයේ දී ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැති ජන හමුවකදීයි.
එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ මේ වන විට ගොවියා අනාථ වී ඇති බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර, වල් නාශක හා බීජ නොමැති බවත් කලට වේලාවට පොහොර සහනාධාර මුදල් නොලැබෙන බවත් වගාව අවසන් වූ පසු මුදල් ලැබෙන අවස්ථා ද පවතින බවත් ඊට අමතරව ගොවි උපකරණවල මිල ඉහළ යාම වගාව කරන විට වන අලි මිනිස් ගැටුම, වන සතුන් මිනිස් ගැටුම නිසා වගා හානි සිදු වුවත් නිසි වන්දි හා රක්ෂණ ක්‍රමවේදයක් නොමැති බවයි.
තවද වන අලි ප්‍රහාරයක් නිසා මිය ගියොත් තක්සේරු මුදල රු. ලක්ෂ 10ක් බවත් මේවා බරපතල ගැටලු වුවත් රජය මේවා තැකීමකට ලක් නොකරන බවත් අවම වශයෙන් අමාරුවෙන් ගන්නා අස්වැන්නට හොඳ වෙළෙඳපොළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ.
රජයේ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවලට ලබා දෙන සහතික මිල පාර්ලිමේන්තු පනතකින් රටේ නීතිය බවට පත් කරන බවට පවසා වී කිලෝවකට රු. 150ක් දෙනවා කිව්වත් අද වන විට බලය ලැබුණු පසු එය රු. 120ට අඩු වී ඇති බවත් තෙත වීවලට ලැබෙන්නේ රු. 90ක් වැනි සොච්චම් මුදලක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
මේවා වියදම් ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් මේ දුක රජයට තේරුණේ බලය නැති කාලයේ බවත් බලය ලැබුණු පසු බලය අත්හරින්නේ නෑ කියා පුරසාරම් දොඩමින් යන බවත් ලක්ෂයක් වුවත් බලය වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි පවසන බවත් ඒ කාලයේ කියපුවා දැන් වලංගු නැති බවට රජයේ මැති ඇමතිවරු කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ආකාරයට රටේ ජනතාව බලය උදෙසා අන්දවන්න මංමුලා කරන්න නොහැකි බවත් ගොවියාට සිදුවන අසාධාරණය ගැන තමා කතා කරන්නේ රටේ ජනාධිපතිවරයාගේ ගමේ සිට බවත් ජනාධිපතිවරයාගේ ගමේ ජනතාවගේ වගාවට පවා නිසි රැකවරණයක් හා මිලක් නොමැති වුවත් පාර්ලිමේන්තුවේදී වී මිල ගැන ප්‍රශ්න කරන විට වැයවන මිලට වඩා වඩාත් ඉහළ මිලක් වීවලට දෙන බව පවසන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ.
මේ ගැන ප්‍රශ්න කරන විට බාධා කර මයික්‍රෆෝන් විසන්ධි කරන බවත් ආණ්ඩුව මොන දේ කළත් විපක්ෂය කටවල් වහන්න සූදානම් නොමැති බවත් ගොවි ජනතාවත් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ජනතා අයිතිය සුරක්ෂා කරන්න අවශ්‍ය ඔනෑම පරිත්‍යාගයක් කරන්න සූදානම් බවද විපක්ෂ නායකවරයා පැවසුවේ
එදා මැතිවරණ සමයේ ජනතාව සමග ඇති කර ගත් සමාජ ගිවිසුම නැවත වරක් අලුත් කර ජනතාව වෙනුවෙන් කැපවීමෙන් විපක්ෂයෙන් සිදුවිය යුතු සේවාව ඉටු කරන්න සූදානම් බවත් මේ ගොවියන් ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර ඇති නිසා මේ ගැටලු සෑම එකක්ද පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ඉදිරිපත් කර ඉහළම සටන සහ අරගලය කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
තවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ ඒ සදහා ප්‍රගතිශිලී බලවේග සමග අත්වැල් බැද ගන්නා බවත් හුදෙක් එය මැති ඇමතිකම් ජනාධිපතිකම් අගමැතිකම් සංස්ථා සභාපතිකම් බෙදා ගන්න නොව ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දීමට සමගි ජන බලවේගයට ඇති එකම ඩීල් එක ලක්ෂ 220ක් ජනතාවට සංවර්ධන යුගය උදා කර ජන ජිවිතය සුඛිත මුදිත කිරිම බවයි.




