පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා එයාකාරයෙන්ම කටයුතු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

ඒ, “ඩී්‍රම් ඩෙස්ටිනේෂන්” දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

 

පොදු ප්‍රවාහනය දියුණු කිරීමේදී වැඩි අවධානයක් දුම්රිය සේවා සඳහා යොමු කරන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

ඒ අනුව සෑම දුම්රිය ස්ථානයක්ම නවීකරණය කිරීමට තීරණය කර ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.