උතුරු ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා.

ජපානයේ අමෝරි ප්‍රාන්තයේ පැසිෆික් වෙරළ තීරයේ කේන්ද්‍රගතව ඊයේ රාත්‍රියේ ඇතිවූ එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7. 6ක ප්‍රබලතාවක් ගෙන තිබූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේවෙතත් ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය මගින් එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7.5ක් දක්වා අඩු කර ඇති බව එන් එච් කේ පුවත් සේවය වාර්තා කළා.

එම භූ කම්පනය සමග නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය හේතුවෙන් ජපානයේ ප්‍රාන්ත කිහිපයක පුද්ගලයින් 90,000ක් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබුණා.

ඉවාට් උරකාවා සහ අමෝරි ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට කෙටි සුනාමි රළ කඩාවැදී ඇති අතර එය සෙන්ටිමීටර් 70ක පමණ උපරිම උසකින් ගොඩබිමට පැමිණ ඇති බවයි එන් එච් කේ පුවත් සේවය වාර්තා කළේ.

මේ අතර, එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් බොහෝ දෙනෙකු බිම ඇදවැටීම හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.