කූඨ ලෙස සකස් කළ ප්‍රංශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඕමානයේ මස්කට් නුවර හරහා ජර්මනිය වෙත පළා යාමට තැත් කල ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද(16) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කිලිනොච්චිය, මුලන්ගවිල් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකු වන අතර අද(16) දින අලුයම 05.20 ට ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව යාම සදහා සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 438 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගෙන විගමන කවුළුව වෙත පැමිණ ඔහුගේ ප්‍රංශ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඇති වූ සැකය මත මොහු ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත යොමු කළ අතර ඔහු මෙම තරුණයා සමග සියලුම ලියකියවිලි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට අනාවරණ වූ අතර එහි යොදා ඇති සටහන් සහ මුද්‍රා ද ව්‍යාජ ලෙස යොදා ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
පසුව සිදු කළ විමර්ශන වලදී මොහු තැරැව්කරුවෙකු වෙත රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දී මෙම ප්‍රංශ ගමන් බලපත්‍රය සකස් කර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම තරුණයා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.


