උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසු වැඩි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු දෙක අඩි හතර බැගින් විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් කලාවැව පහළ නිම්නයේ පදිංචිකරුවන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර කැළණි ගඟ පිටාර ගැලිම හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක පැවති ගංවතුර තත්ත්වය බැස ගොස් තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා.

ගංවතුරෙන් බලපෑමට ලක් වූ පවුල් සදහා ආධාර මුදල් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා කරුණු දැක්වුවා.

මේ අතර ‘දිත්වා’ සුළිකුණාටුව හේතුවෙන් දිවයිනපුරා සිදුවූ ආපදාවලින් මියගිය බවට තහවුරු කර ගෙන ඇති පුද්ගලයින් ගණන 479 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 350 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් ගණන දහසය ලක්‍ෂ දාහතර දහස් හත්සිය අනූවක්.

පුද්ගලයන් එක් ලක්‍ෂ අසූ අට දහස් නවසිය හැත්තෑ හතර දෙනෙකු තවදුරටත් ආරක්‍ෂිත මධ්‍යස්ථානවල රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.