චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටියේ තාක්ෂණික නිෂ්පාදනයන්ට අවශ්‍ය ඛනිජ වර්ග සඳහා චීනය විසින් දැඩි අපනයන පාලනයන් පැනවීම හමුවේ මෙලෙස තීරු බදු පැනවීමට තමා තීරණය කළ බවයි.

තාක්ෂණික නිෂ්පාදනයන් සඳහා අත්‍යවශ්‍ය වන ඛනිජ වර්ග 7ක් සඳහා චීනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවනු ලැබුවා.

මෙම ඛනිජ වර්ග 7ට අමතරව තවත් ඛනිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවට චිනය පසුගියදා නිවේදනය කර තිබෙනවා.

චීනයේ මෙම තීරණය හමුවේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නොවැම්බර් මාසයේ සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැනට පනවා ඇති තීරු බදුවලට අමතරව තවත් 100% ක අතිරේක තීරු බද්දක් පනවන බව සඳහන් කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍යවල සටහනක් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර සිටියේ එක්සත් ජනපදයද තීරණාත්මක මෘදුකාංග සඳහා අපනයන පාලනයන් පනවන බවයි.

චීනයේ මෙම තීරණය තමා කම්පනයට පත් කළ ඉතා නරක තීරණයක් බවත් තවත් සති කිහිපයකදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුවද පැවැත්වීමට දැන් හේතුවක් නොමැති බවද සිය ට්‍රෘත් සමාජ ගිණුමේ ජනපති ට්‍රම්ප් සටහන් කර තිබෙනවා.

නමුත් ජනපති ට්‍රම්ප් සඳහන් කරන්නේ තමා මෙම හමුව අවලංගු කර නොමැති අතර ඉදිරියෙදී එය පැවැත්වීමට හැකියාව ඇති බවයි.

කෙසේ වුවද බීජිං පරිපාලනය කිසි විටෙකත් මෙම හමුව තහවුරු කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.