ටික් ටොක් සමාජ මාධ්‍ය යෙදවුම හරහා දරුවන්ට අසභ්‍ය දර්ශන නිර්දේශ කරන බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා. පර්යේෂණ කණ්ඩායම පවසන්නේ ටික්ටොක්හි ඇල්ගෝරිදම් හරහා ළමා ගිණුම්වලටද අසභ්‍ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ වන බවයි. මෙම පර්යේෂකයින් කණ්ඩායම ව්‍යාජ ළමා ගිණුම් නිර්මාණය කර මෙම අධ්‍යයනය සිදු කර තිබුණා. ඒ, ඔවුන් වයස අවුරුදු 13ක ළමුන් ලෙස පෙනී සිටිමින්. ඔවුන් ඒ සඳහා ව්‍යාජ උපන්දින භාවිතා කළ අතර ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කිරීම සඳහා වෙනත් කිසිදු තොරතුරක් ඉල්ලා නොසිටි බව පවසා තිබෙනවා. එහිදී ඔවුන් ටික්ටොක්හි ආරක්ෂක සැකසුම් සක්‍රිය කළද දිගින් දිගටම ලිංගික අන්තර්ගතයන් නිර්දේශ වූ බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ. පරික්‍ෂකයින් පැවසුවේ මෙම සොයාගැනීම් ”විශාල කම්පනයක්” ඇති කළ බවයි. එය ටික්ටොක් ළමයින් නුසුදුසු අන්තර්ගතයට ප්‍රවේශ වීම වැළැක්වීමට අපොහොසත් වීම පමණක් නොවන බවයි ඔවුන් පවසා ඇත්තේ. මෙම පරික්‍ෂණය සිදු කර ඇත්තේ ග්ලෝබල් විට්නස් නම් ජාත්‍යන්තර පර්යේෂකයින් කණ්ඩායමක්. ඔවුන් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාවලට තාක්ෂණය බලපාන්නේ කෙසේද යන්න විමර්ශනය කරන කණ්ඩායමක්. කෙසේවෙතත් ටික් ටොක් බලධාරීන් පවසන්නේ ගැටලුව දැනගත් වහාම පියවර ගත් බවයි.
Published