අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 21 වනදා කැදවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුවේ විභාගයේ ජූලි මස 31 වනදා කැඳවීමට නියමිතව තිබුණා.

එදිනට විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාට වෙනත් නඩු කටයුත්තක් පවතින බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කියා සිටියේ මෙම නඩුවේ විභාගය අවස්ථා තුනකදී කල් දැමුනු බවයි.

ඒ අනුව සාක්ෂි විභාගය සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නඩු විභාගය අගෝස්තු 21 සිදු කිරීමට දින නියම කළා.

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩු ගොනු කර තිබෙනවා.