රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ Ai තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන අද ආරම්භ වනවා.

ඒ, පස්වරු 01.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

රජයේ ඩිජිටල්කරණ සැලසුම් පැහැදිලි කිරීම සහ Ai තාක්ෂණ භාවිතය පිළිබඳව නිලධාරීන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් එම වැඩසටහන ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පළමු පළාත් වැඩසටහන මධ්‍යම පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රජයේ අනෙකුත් ආයතනවල සියලුම විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

කොළඹ කේන්ද්‍ර කරගනිමින් ඩිජිටල්කරණය සහ Ai තාක්ෂණය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් 6ක් පවත්වා ඇති අතර ඒ සඳහා නිලධාරීන් 4,000කට වැඩි පිරිසක් සහභාගී වී තිබෙනවා.

සියලු පළාත් ආවරණය වන පරිදි පළාත් මට්ටමින් මෙම වැඩසටහන පවත්වා රජයේ ඩිජිටල්කරණ සැලසුම පිළිබඳ රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය සහ Ai තාක්ෂණය රජයේ කටයුතු සඳහා භාවිතයට යොදා ගැනීම පිළිබඳව කොළඹින් බැහැර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.