තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.

ඒ, දිවයිනට නැගෙනහිර දෙසින් පවතින පහළ වායු ගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙන්.

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට, ශ්‍රී ලංකාවට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ.

දිවයින වටා මුහුදේ කාලගුණය ද අයහපත් බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ.

මේ අතර, දැදුරු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, හෙට මධ්‍යාහ්න 12.00 දක්වායි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඇදහැලුණු වර්ෂාපතනය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිටත් තත්පරයට ඝණ අඩි 5,038ක තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ගෙවී ගිය දින 05 තුළ පමණක් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී නිවාස හා ගොඩනැගිලි 162කට හානි සිදුවී තිබෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

දිස්ත්‍රික් 06ක පවුල් 180කට අයත් පුද්ගලයන් 731ක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර, තද සුළං, නායයාම් හේතුවෙන් කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, බදුල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්වල ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

077 - 450 66 02 එම දුරකතන අංකයයි.