ලබන වසරට අදාළ පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ලබන වසරේ පළමු වාරයේ පළමු අදියර ජනවාරි පළමුවනදා සිට පෙබරවාරි 13 වනදා දක්වා ක්‍රියාත්මක බවයි. එම වාරයේ දෙවන අදියර මාර්තු 03 වනදා සිට අප්‍රේල් 10 වනදා දක්වා ක්‍රියාත්මකයි. ලබන වසරේ දෙවන වාරය අප්‍රේල් 20 වනදා සිට ජූලි 24 වනදා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. තෙවන වාරය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි. ඒ අනුව පළමු අදියර ක්‍රියාත්මක වන්නේ ලබන වසරේ ජූලි 27 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වායි. සැප්තැම්බර් 07 වනදා සිට දෙසැම්බර් 04 වනදා දක්වා ලබන වසරේ තෙවන වාරයේ දෙවන අදියර ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර 2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. 2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ අගෝස්තු මාසයේදීයි. එම වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර උසස්පෙළ සමත් වන සෑම දරුවෙකුටම උපාධියක් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අවස්ථා අනාගතයේදී බිහිකරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා පැවසුවේ.

අරලගංවිල මැදගම මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා මෙම අදහස් පළ කළා.