ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමේදී මතු වූ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කරුණු පැහැදිලි කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ අදාල සිද්ධියේදී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා බවයි.

අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මෙම සිද්ධිය පාදක කර ගනිමින් කිසිදු පාර්ශ්වයකට දේශපාලන වාසියක් ලබා ගැනීමට ඉඩ නොදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

මේ අතර ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර විහාරාධිපති හිමියන් කියා සිටින්නේ තම විහාරය අමරපුර නිකාය යටතේ විහාර හා දේවාලගම් පනතට අනුකූලව 1951 වසරේ ලියාපදිංචි කළ විහාරස්ථානයක් බවයි.

කෙසේවෙතත් මෙම විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2025 ජූලි 18 සහ 2025 ජූලි 25 දිනවල ලිපි නිකුත් කළ අතර ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාර හිමියන් කියා සිටිනවා.

එහෙත් එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි එහි සඳහන් වන්නේ.

සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ තමන් වහන්සේගේ ස්ථාවරයට කන් දීමක් නොකළ බවත් විහාරාධිපති හිමියන් චෝදනා කළා.