දීර්ඝ කාලීන දේශසීමා ආරවුලක් ඇති තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම අත්සන් කිරීම අද සිදුකෙරුණා.

එම සාම ගිවිසුම අධීක්ෂණය කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී වී තිබුණා.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය හෙවත් ආසියාන් සමුළුවකට ද සහභාගී වීම සඳහා ක්වාලාලම්පූර් වෙත ඔහු පැමිණ තිබූ අතර එහිදී එම සාම ගිවිසුම අත්සන් කිරීම අධීක්ෂණය කිරීම සඳහාද ඔහු සහභාගී වී තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් සිය ටෘත් සෝෂල් සමාජ ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් කාම්බෝජය සහ තායිලන්තය අතර ආඩම්බරයෙන් මැදිහත් වූ ශ්‍රේෂ්ඨ සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා පැමිණෙන බවයි.

මෙම සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ ජූලි මාසයේදී තායිලන්තය සහ කාම්බෝජය අතර ඇති වූ ලේ වැගිරීමෙන් පසුව ඔවුන් අතර බොහෝ දුරකථන ඇමතුම්වලින් සාකච්ඡා කළ බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ සාම ගිවිසුම් ඇති කර ගැනීමට තමා ඉතා දක්ෂ බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට වඩා තමා එයට බෙහෙවින් දක්ෂ බවයි.

එමෙන්ම මේ වන විට තායිලන්තයේ මව් රැජිනගේ අභාවය සම්බන්ධව තමන් කණගාටු වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මතභේදාත්මක දේශසීමා ප්‍රදේශයක් වූ නැගෙනහිර තායිලන්තයේ තා මෝන්තොම් නම් ආගමික ස්ථානය ආශ්‍රිත දේශ සීමාවේ තායිලන්ත හමුදාව හා කාම්බෝජ හමුදාව අතර සිදුවූ ගැටුමකින් පසුව වෙඩි හුවමාරුවක් දක්වා දුරදිග ගියේ පසුගිය ජූලි මාසයේදීයි.

එම වෙඩි ප්‍රහාරවලින් තායිලන්ත සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් තායිලන්ත හමුදා සාමාජිකයින් දෙදෙනෙකුද තුවාල ලැබුවා.

එම යුද ගැටුම දුරදිග යාමෙන් තායිලන්තයේ හමුදා සාමාජිකයින් ඇතුළු 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම ගැටුම් දුරදිග යාමෙන් පසුව තායිලන්තය සහ කාම්බෝජය අතර පසුගිය ජූලි මාසයේදී සාම සාකච්ඡා පැවැති අතර ඒ අනුව දෙපාර්ශ්වය ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකටද එකඟ වී තිබුණා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරතුරදී ඔහු ජපානයට සහ අවසානයේ දකුණු කොරියාවට යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ධවල මන්දිරය පවසන්නේ එම සංචාරය අතරතුරදීම ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාද හමුවීමට නියමිත බවයි.