තැපැල් වර්ජනය අද උණුසුම් වුණා. ඒ, කොළඹ පැවති තැපැල් වර්ජකයින්ගේ සත්‍යග්‍රහය අතරතුරයි. මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටට අද පස්වරුවේ කැරලි මර්දන කණ්ඩායම් කැඳවා තිබූ අතර ඒ අවට පොලිස් ආරක්ෂාවද දැඩි කර තිබුණා. කෙසේවෙතත් තැපැල් වර්ජකයින්ගෙන් එහිදී එල්ල වූයේ දැඩි විරෝධයක්.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්ව සිටියා. ඒ අවස්ථාවේ මධ්‍ය තැපැල් හුවමාරුවේ ගොඩ ගැසුණු පාර්සල් හමුදාවේ මැදිහත් වීමෙන් රැගෙන යාමත් සමග යළි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 05 වන දිනටයි. ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ අද දිනයේ සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව පවසමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් නිවේදනයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි.