දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 “වැට් බදු” මුදල් වංචාව සිදු කළ විත්තිකාර ව්‍යපාරිකයෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කළා.

දඬුවම් නියම වූ විත්තිකරුවකු වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත්දා ඉදිරිපත් කළ මෝසමක් සම්බන්ධයෙන් තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා

ඉකුත්දා මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුව යළි සලකා බලන ලෙස විත්තිකරු විසින් අභියාචනාදිකරණය හමුවේ ගොනු කර තිබෙන ඉල්ලීම පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

වැට් බදු වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මෙම පෙත්සම්කරු ඇතුළු තිදෙනෙකු අභියාචනාධිකරණයට ගොනු කර තිබූ අභියාචනාවල තීන්දුව අභියාචනාදීකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඒ තුළින් විත්තිකරුවන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම අනුමත කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා පෙන්වා දී තිබුණා.

එහෙත් අදාළ නඩු තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලා මෙම විත්තිකාර අභියාචකයකු වන මොහොමඩ් කුතුබ්දීන් විසින් 2024 වසරේ ජූලි මස අභියාචනාධිකරණයට යලි පෙත්සමක් ගොනු කර ඇති අතර එම පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම අභියාචනාධිකරණය විසින් කල්තබා ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉකුත් නඩු දිනයේ පෙන්වා දී තිබෙනවා.

අභියාචනාදීකරණය හමුවේ අදාල පෙත්සම ගොනු කර තිබෙන විත්තිකරු මහාධිකරණ නඩු විභාගය මගහැර රටින් පලා ගොස් සිටි අයෙකු බවත් ඔහුට මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා එහිදී තර්ක කර තිබුණා.

එබැවින් විත්තිකරු විසින් අභියාචනාදීකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම කරුණු සම්බන්ධයෙන් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අභියාචනාදකරණය විසින් තීන්දුවක් ලබාදී තිබියදී එය යළි සලකා බලන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කර සිටියා.

එය අධිකරණ ක්‍රියාදාමය අව භාවිතාවට ලක් කිරීමක් යැයි චෝදනා කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි ක්‍රියා සඳහා නීතියෙන් අවසර හිමි නොවන බවත් සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව මෙම විත්තිකරුට මහාධිකරණය මගින් පනවන ලද සිර දඬුවම් හා දඩ මුදල් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරන තීන්දුව තහවුරු කරන බවත් මෙම නඩුකරය සම්බන්ධයෙන් තවදුරත් ඉල්ලීම් සලකා බැලීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළා.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණා.

මෙසේ දඬුවම් නියම වූ විත්තිකරුවන් තුන්දෙනාම අධිකරණය මගහැර පළා ගොස් සිටි අතර පසුව ඔවුන් එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කර තිබෙනවා.