විදේශයන්හි සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාන් සත්සර නොහොත් “දෙහිබාල මල්ලි” හා ඔහුගේ සොහොයුරා වන තුෂාන් නෙත්සර නොහොත් “කලු මල්ලි” වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව මෙම සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කරනු ලැබුවා.

පසුගියදා දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී අයිස්, හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839කට අධික ප්‍රමාණයක් නාවික හමුදා විසින් සිය භාරයට ගෙන තිබුණා.

එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම දෙහිබාල මල්ලි හා කළු මල්ලි විසින් සිදු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශියක රාජ්‍යයක සැගවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය පැවසුවා.

එම පුද්ගලයින් දෙදෙනාගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අධිකරණයට ඊයේ ඉදිරිපත් කළා.

ඒ අනුව අදාළ සැකකරුවන් නොවැම්බර් මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබෙනවා.