ගාල්ල, ඇල්පිටිය, සහ මාතර යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි සිදු කෙරුණු පොලිස් සහ ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ හදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 457 දෙනෙකු විවිධ අපරාධ සම්බන්ධයෙන් සහ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වරෙන්තුකරුවන් 65 දෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ.
හෙරොයින්, අයිස් හෝ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු 75ක් මෙම මෙහෙයුමේදී ලබා ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104කට වැඩි ප්‍රමාණයක් සමගද සැකකරුවෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසුවා.
එමෙන්ම නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු 57ක්ද ලබාගෙන තිබෙනවා.
මෙම මෙහෙයුමට අදාළව පුද්ගලයින් 3,000කට වැඩි පිරිසක් සහ වාහන 1,500කට ආසන්න ප්‍රමාණයක් පරික්ෂාවට ලක් කෙරුණා.
එලෙස පරික්ෂාවට ලක් කෙරුණු යතුරුපැදි 28ක් සහ වෙනත් වාහන 77ක් විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී 07 සිට රාත්‍රී 11 දක්වා සිදු කළ මෙම මෙහෙයුමට යොදා ගත් පොලිස් නිලධාරීන් ගණන 1,000කට වැඩි වනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 25 දෙනෙක්, යුද හමුදාවේ 250 දෙනෙක්, නාවික හමුදාවේ 150 දෙනෙකු සහ ගුවන් හමුදාවේ නිලධාරීන් 100දෙනෙක්ද මෙහෙයුමට එක්ව තිබෙනවා.
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහ මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් අපරාධ වළක්වා ගැනීම සඳහා මෙවැනි ඒකාබද්ධ හදිසි මෙහෙයුම් රටේ සෙසු ප්රදේශවලද සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ අතර වත්තල, ජා ඇල, කඳාන හා රාගම යන ප්රදේශවලද විශේෂ මෙහෙයුමක් පෙරේදා රාත්‍රියේ සිදු කෙරුණා.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධවයි එම මෙහෙයුම සිදු කෙරුණේ.
එහිදී සැකපිට සහ විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.