දඹුල්ල, ඉනාමළුව, දිගම්පතහ රජයේ රක්ෂිතය තුළ තිබියදී ඇතෙකුගේ සහ අලි දෙදෙනෙකුගේ මළසිරුරු හා අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ පෙරවරුවේ මළසිරුරු හා අස්ථි කොටස් සොයාගැනුණේ ප්‍රදේශයේ පිරිසක් විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි.

මීට මාසයකට පමණ ඉහතදී මියගොස් ඇති බවට සැක කෙරෙන මෙම අලි ඇතුන් මියගොස් ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර ගල්ගමුව ඇහැටුවැව, ගාලයායවෙල රක්ෂිතයේ තිබියදී ද දළ සහිත හස්තියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතය හා ඇහැටුවැව තේක්කකැලේ රක්ෂිතය ආශ්‍රිතව සැරිසැරූ “ගල්ගමුවේ සුමන” හස්තියා බවටයි පැවසෙන්නේ.

මෙම හස්තියා ද මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැලකෙනවා.