Published
වෙඩි තැබීම්, පුද්ගල ඝාතන දැන් දෛනිකව වාර්තා වන සුලබ ප්රවෘත්ති බවට පත්ව අවසන්. මේ, ගත වූ පැය 24 එලෙස අහිමි වූ ජීවිත ගැන සටහනක්.
ඊයේ රාත්‍රියේ එක් ඝාතනයක් වාර්තා වී තිබුණේ සීදූව, ඊරියගහළිඳ පාර ප්රදේශයේදීයි. එහිදී පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් තිබුණේ. එලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි ඊරියගහළිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. නිල නොවන තොරතුරුවල අනුව මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටි අයෙකු බවයි පැවසෙන්නේ. ඊයේ දහවල් සිදුවූ රටම කතා කළ ඝාතනය වූයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනයයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 600ක් ද සමඟයි. වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථයද එහිදී පොලිස් භාරයට ගැනුණා. එහි තිබී පිස්තෝල අවියක් හා පතරොම් 14ක් සහිත පතරොම් ගැබක්, ජංගම දුරකථන 08ක් සහ බැංකු කාඩ්පත් 04ක් ද සොයාගෙන තිබෙනවා. මෝටර් රථයේ තිබී සොයාගත් පිස්තෝල අවිය මෙම අපරාධය සඳහා යොදාගත් අවිය බවයි මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ. මේ වන විට මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. පොලීසිය සැක පළ කරන්නේ හංවැල්ලේ ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටයි. මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන මෙම පුද්ගලයා අදාල ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිට බවට ද වාර්තා පළ වනවා. ඝාතනයට ලක් වූ ශාන්ත මුදුන්කොටුව මහතා, “බනා” යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන බවටයි පැවසෙන්නේ. ඔහු “හෝමාගම හඳයා” නැමති තවත් මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටද වාර්තා වනවා. ලලිත් කන්නංගර හෙවත් “බස් ලලිත්” නමැත්තා සහ හෝමාගම හඳයා අතර පවතින ආරවුලක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.