ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.

එය නැරඹීමට විශාල පිරිසක් මහනුවර නගරයට කල් වේලා ඇතිව පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඇසළ පෙරහර මංගල්‍යයේ අද පැවැත්වෙන දහවල් පෙරහරේ වීථි සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා.

දහවල් පෙරහර අද මහනුවර නගරයේ පරණ පේරාදෙණිය පාර, දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවදීමට නියමිතයි.

ඒ අනුව මෙම පෙරහර ගමන් ගන්නා කාලය තුළ අද උදෑසන 10 සිට සවස 05 දක්වා කාලයේදී මහනුවර නගරයට රථ වාහන ඇතුල් කිරීම සීමා කරන බැවින් රථ වාහන තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා දැනුම් දුන්නේ.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස කොළඹ දෙස සිට හා ගම්පොල දෙස සිට කටුස්සකොට, මාතලේ, කුරුණෑගල, දක්වා ගමන් කරන වාහන පේරාදෙණිය ගැටඹේ මංසන්ධියෙන් ගන්නෝරුව මාර්ගයෙන් ගොහාගොඩ් මාර්ගයට ගමන් කර කටුගස්තොට දක්වා ගමන් කළ හැකියි.

කටුගස්තොට දෙස සිට මහියංගණය දෙසට ගමන් කරන වාහන වත්තේගම මාර්ගයේ මඩවල හන්දියෙන් මැණික්හින්න නගරය හරහා දිගන දක්වා ගමන් කිරීමට හැකියාව ඇති බවයි පොලීසිය පැවසුවේ.

කටුගස්තොට දෙස සිට මහියංගනය, බදුල්ල දක්වා ගමන් කරන වාහන කටුගස්තොට නගරයෙන් මහයියාව මාර්ගය හරහා රාකඩේ හන්දියට පැමිණි ධර්මාශෝක මාවත ඔස්සේ ලේවැල්ල හන්දියට පැමිණ තැන්නේකුඹුර දෙසට ධාවනය කළ හැකි වනවා.

කොළඹ දෙස සිට සහ ගම්පොල දෙස සිට මහියංගණය, බදුල්ල දක්වා ගමන් කරන වාහන - විලියම් ගොපල්ලව මාවත ඔස්සේ ගමන් කර මහනුවර පොදු වෙළඳපොළ අසලින් බෝගම්බර දක්වා ගමන් කර ඇහැලේපොළ කුමාරිහාමි මාවත, වැව රවුම, තැන්නේකුඹුර දක්වා ගමන් කර ඇහැලේපොල කුමාරිහාමි මාවත, වැව රවුම, තැන්නෙකුඹුර දක්වා ගමන් කිරීමට හැකි බවයි පොලීසිය පැවසුවේ.

මහියංගණය දෙස සිට සහ බදුල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන තැන්නේකුඹුර, වැව රවුම, බෝගම්බර දක්වා ගමන් කර විලියම් ගොපල්ලව මාවත ඔස්සේ මහනුවර නගරයෙන් පිටවිය හැකියි.