මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ බලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදීප් නිලංග දෑල මහතා කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 23 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සාලිය ප්‍රසාද් නන්දසිරි මහතා විසින්.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 23 වනදා කැදවන ලෙසයි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්, හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ සඳරුවන් සේනානායක මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු දියවඩන නිලමේවරයා වූ නිලංග දෑල මහතාගේ ධුර කාලය ඉකුත් 07 වන දිනෙන් අවසන් වූ බවයි.

ඉන් අනතුරුව විහාර හා දේවාල ගම් පනතේ විධිවිධාන ප්‍රකාරව උභය පාර්ශවයේ විහාරාධිපතින්ගේ ඉල්ලීම පරිදි යළිත් වැඩ බලන දියවඩන නිලමේ වශයෙන් නිලංග දෑල මහතා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වනවා.

හිටපු දියවඩන නිලමේවරයාට එරෙහිව විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා රැසක් ඉදිරිපත් වී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු එම වාතාවරණය හමුවේ ඔහු අදාළ ධූරයේ වැඩ බැලීම සඳහා පත් කිරීම නීතියට පටහැනි බවත් එය විහාර හා දේවාල ගම් පනතේ විවිධානයන්ට පටහැනි බවත් පවසනවා.

ඒ අනුව වගඋත්තරකාර හිටපු දියවඩන නිලමේවරයා අදාළ ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.