දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 80ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දිනයේ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට ළඟා වනු ඇති බව අපේක්‍ෂා කෙරෙනවා.

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගිුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්‍ෂා කෙරෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශ අහස වළාකුලින් බරව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බොහෝ ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60ත් 70ත් දක්වා ඉතා තද සුළං සහ පැයට කිලෝ මීටර් 80ත් 90ත් දක්වා ප්‍රහාරාත්මක සුළංද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.