‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදා හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

තවමත් අතුරුදන්ව ඇති සංඛ්‍යාව 366ක්. දිස්ත්‍රික්ක 25ටම මෙමගින් බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවට පත් පවුල් සංඛ්‍යාව හාරලක්ෂ තිස් හත්දහස් පන්සිය හතක්.

ඒවායේ ජීවත් වූ පහළොස් ලක්ෂ පනස් අටදහස් නවසිය දහනව දෙනෙකු බලපෑමට ලක්ව සිටිනවා.

පවුල් 61,875කට අයත් පුද්ගලයින් දෙලක්ෂ තිස් දෙදහස් හත්සිය පනස් දෙදෙනෙකු රඳවා සිටින්නේ සහන සේවා මධ්‍යස්ථාන 1,433ක් තුළයි.

නිවාස 783කට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 31,417කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර ඉදිරි දින කිහිපයේද අවදානම් සහිත ප්‍රදේශ යළි නාය යාමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පරික්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා.

ඉදිරි දින කිහිපයේදී ද යළි වැසි ඇතිවිය හැකි බැවින් පවතින තත්ත්වය කෙරෙහි දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේ පශ්චාත් ආපදා තත්ත්වයේදී ජනතාව සිය සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය එම දිස්ත්‍රික්ක වනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.