දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමේ අවධානමක් නිසා තාවකාලිකව අවතැන් කදවුරක රැදී සිටින නෝර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් (23) දින හැටන් නගරයේ පිහිටි මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
නායයෑමේ අවධානමක් පවතින නිසා තම වතු යායේ පවුල් ගණනාවක් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තම වතුයායේ භාරතීපුරම් දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව පදිංචි කල බවත් දැනට තම වතුයායේ නායයෑමේ අවධානමක් නොමැති නිසා තමන් පදිංචි නිවාස වලටම යන ලෙස තම කාර්යාලයේ නිළධාරින් දැනුම් දෙන බවයි පෙත්සම් භාර දීමට පැමිණි වතු කම්කරුවන් කියා පැවසුවේ.
තමන්ට නිවසක් ඉදි කර ගැනීමට ඉඩම් කැබැල්ලක් හෝ ලබා දෙන තෙක් තමන් එම පාසලේම තව දුරටත් රැදී සිටින බවත්, පීඩාවට පත් වී සිටින තමන්ව වතු පාලන අධිකාරිය මගින්ද විවිධ චෝදනා නගමින් පොලිසිය වෙත පැමිණිලි කර තමන්ව තව දුරටත් පීඩාවට පත් කිරිම සිදු කරන බවයි මානව හිමිකම් කාර්යාලයට පෙත්සම් භාර දීමට පැමිණි වතු කම්කරුවන් කියා වැඩි දුරටත් පැවසුවේ.
තම ගැටළුව මානව හිමිකම් කාර්යාලය වෙත භාර දුන් බවත්, ඉන් සාධාරණයක් ඉටු වෙතැයි අපේක්ෂාවෙන් එම පැමිණිල්ල සිදු කල බවයි එම වතු කම්කරුවන් කියා සිටියේ.





