මහනුවර, ශ්‍රී දළදා මාළගාවේ මීළඟ දියවඩන නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය මෙවර උණුසුම් මුහුණුවරක් ගන්නා ස්වභාවයක් මේ වන විට මතුව තිබෙනවා.

ඒ, එම නිලවරණය සඳහා අපේක්‍ෂකයින් විශාල පිරිසක් එක් වීමේ සූදානමක් පැවතීම හේතුවෙන්.

මහනුවර ශ්‍රී දළාදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයේ කටයුතු කළ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය පසුගිය 07 වනදායින් අවසන් වුණා.

ඒ අනුව නිලවරණය පැවැත්වෙන තෙක් වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදිප් නිලංග දෑල මහතාවම පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබෙනවා.

ඒ, මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහනායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශ අනුවයි.

දියවඩන නිලමේවරයාගේ ධුර කාලය නිමා වීමෙන් පසු මාස තුනක් ඇතුළත නව දියවඩන නිලමේවරයෙකු පත් කළ යුතු වනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන එම නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන පිරිස 318කට ආසන්නයි.

භික්ෂූන් වහන්සේලා 140කට ආසන්න පිරිසක් සහ පැරණි මහනුවර රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශවල වර්තමාන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් එම පිරිසට අයත් වනවා.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම්ධුරය දරන කාන්තාවන්ට සහ අන්‍යාගමික පුද්ගලයින්ට දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඒ අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන පිරිස 275කට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙසැම්බර් 07 වනදාට පෙර දියවඩන නිලමේ නිලවරණය පවත්වා අවසන් කළ යුතු වනවා.

මෙවර දියවඩන නිලවරණය සඳහා වැඩබලන දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා මෙන්ම මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා, මහනුවර කතරගම දේවාලයේ නිලමේවරයා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහචාර්යවරයෙකු ඇතුළු 08 දෙනෙකු පමණ ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අමතරව තවත් කිහිපදෙනෙකුද එම නිලවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.