ඉන්දියාවේ නවදිල්ලි නුවරට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු කිසිවෙකු අත්නොහරින බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

පිපිරීමෙන් පසු පළමු වරට අදහස් දක්වමින් මෝදි පැවසුවේ ප්‍රහාරයට සම්බන්ධ වූවන් සොයා විමර්ශන ආයතන මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඔවුන් මෙම කුමන්ත්‍රණයේ සුලමුල සොයාගනු ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

නවදිල්ලි ප්‍රහාරයේ පරික්ෂණ ඉන්දියාවේ ෆෙඩරල් විමර්ශන ආයතනයට භාරදී තිබෙනවා. එහෙත් ඊට විශේෂ හේතුවක් ප්‍රකාශයට පත්කර නැහැ.

ඉකුත් සඳුදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරය සිදු වූයේ ඉන්දීය අගනුවර ජනප්‍රියතම ඓතිහාසික ස්ථානවලින් එකක් වන රතු බලකොටුව අසලයි.

ප්‍රහාරය එල්ල කළේ ජම්මු-කාශ්මීර වැසියෙකු වන 37 හැවිරිදි වෛද්‍යවරයෙකු බවයි පැවසෙන්නේ.

මේ අතර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරද ඊයේ බෝම්බයක් පුපුරා ගියා. ඉන් මියගිය සංඛ්‍යාව 12ක්.