ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට අද උපදෙස් ලබා දුන්නා.
ඒ, අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින්.
තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන ලෙස මෙහිදී මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්කර ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රදේශවල පවතින අවදානම් තත්ත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් හඳුනාගනිමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන ලෙසද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දුන්නා.
ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු පිළිබඳව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණා.
එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වීම සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ ගැටලු පිළිබඳවද එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සහන සේවා කඳවුරු වෙත පැමිණි ජනතාව, නිවාසවල සිරවී සිටින ජනතාව මෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඥාතී නිවාසවල රැදී සිටින ජනතාව සඳහා පිසු ආහාර සහ වියළි සලාක අඛණ්ඩව ලබා දීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා විනාශයට පත් නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳවද අවධානය යොමු කළා.
එමෙන්ම වාරිමාර්ග පද්ධතිය සහ එහි සුරක්ෂිතභාවය මෙන්ම නාය යාමේ අවදානම ඇති ප්‍රදේශවල මහා මාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
තම දිස්ත්‍රික්කවල මතුව ඇති හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මෙම සාකච්ඡාවට එක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලද අතර ඒ මත පදනම් ඉහත තීන්දු තීරණවලට එළඹ තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක යන අමාත්‍යවරුන් සහ ආපදාවට පත් දිස්ත්‍රික්ක නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් එම අවස්ථාවට එක්ව සිටියා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන යන ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයින්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.




