ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීකඩකයින් රැසක් තවදුරටත් සිය ශෝකය පල කරමින් සිටිනවා.
ඒ අතරට මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, දසුන් ශානක සහ සනත් ජයසූරිය ද අයත්.
මහේල ජයවර්ධන පවසන්නේ දුනිත් වෙල්ලාලගේගේ පවුලට  අවශ්‍ය පෞද්ගලිකත්වය ලබා දෙන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.
තවදුරටත් දුනිත් වෙල්ලාලගේ හට මඟ පෙන්වමින් ඔහු සමඟ සෑම පියවරකදීම සහාය දෙන බව ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය පවසා තිබෙනවා.
මේ අතර දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මියගොස් ඇත්තේ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් සහ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බව මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් මහතා පවසනවා.
පානදුර මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය මුදිත කුඩාගම විසින් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව දන්වා ඇති බවයි ඔහු පවසා ඇත්තේ.
දිගුකාලීනව අධික රුධිර පීඩන රෝගී තත්ත්වය මත ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් ඔහු නරඹමින් සිටී ක්‍රිකට් තරඟය මරණයට හේතුවූ බවට පවුලේ සාක්ෂිවලින් අනාවරණය නොවන බවත් මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් මහතා වැඩිදුරටත් පවසනවා.
ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ක්‍රිකට් තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී ඔහු හදිසියේ පපුව අල්ලාගෙන දණ ගසාගෙන බිම වාඩිවී ඇති අතර පසුව බිරිඳ විසින් පානදුර මූලික රෝහලට රැගෙනවිත් තිබූ බවයි වාර්තා වන්නේ.
පානදුර රෝහලට ඇතුළත් කරන විටත් සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා.
මෘතදේහය දේහය සම්න්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදුකළ අතර, රෝහල් පරිශ්‍රය තුළ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් රැස්ව සිටියා.
මේ අතර සිය පියාගේ අභාවය හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර යළි දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රියේ බොහෝ දුරට ඩුබායි බලා යළි පිටත්ව යනු ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග පවසනවා.
ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වෙන තරඟයට සහභාගී වීමේ අරමුණින්.