දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව වැඩි ඡන්ද 177කින් සම්මත වී තිබෙනවා. ඒ වෙනුවෙන් අද පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විරුද්ධව කිසිදු ඡන්දයක් ලැබී තිබුණේ නැහැ. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු පමණක් ඡන්දය දීමෙන් වැළැකී සිටියා. ඡන්ද විමසීම අවසානයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එම තීරණය සභාවට දැනුම්දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පැවතුනා. ඒ අනුව යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදු කරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.