දේශීය අර්තාපල් ගොවීන් මුහුණපා සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරින් අද දිනයේ සාකච්ඡාවක් ලබාදී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානය පවසනවා.
කෙසේවෙතත් එම සාකච්ඡාව සඳහා සිය විරෝධතා ක්‍රියාමාර්ගවලට බාධා කළ පිරිසක් කැඳවා තිබීම ගැටලු සහගත බවයි නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරංග රත්නායක මහතා පැවසුවේ.
මේ අතර දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කෙරෙන පළමු අවස්ථාව මෙය බවත්, සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.
ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුවට විසදුම් සෙවීමේදී එම ගැටලුවලට ප්‍රමුඛතාව ලබා දෙන අතරම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලූනු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ඊට විසදුම් සෙවීමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කර තිබෙනවා.
ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීම සහ මිල ක්‍රමවේදය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස එහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර දේශීය ලොකු ලූනු වගාවට අදාළ තිරසාර නිෂ්පාදන සහ අළෙවිකරණය සඳහා වූ උපායමාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාවද ඉදිරිපත් කර තිබෙනවා.
2025 වසරේ සියයට 17ක් වන ලොකු ලූනු නිෂ්පාදනය 2026 වසරේදී සියයට 22ක් සහ 2027 වසරේදී සියයට 27ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.





