මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා.
උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස අපවත් වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව එම අනතුරින් මේ දක්වා අපවත් වූ හිමිවරු සංඛ්‍යාව අටනමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් කුරුණෑගල රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වනදා රාත්‍රී කාලයේදීයි.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා දහතුන්නමක් සිට ඇති බවටයි වාර්තා වුණේ.
ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ විදෙස් ජාතික හිමිවරුන් තුන්නමක් ද අනතුරින් අපවත් වුණා.
අදාල ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා දහතුන්නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.




