2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම සුපිරි 04 දෙනාගේ වටයේ තමන් සහභාගී වූ පළමු තරඟයෙන් පරාජයට පත්ව සිටීම හේතුවෙන් මෙම තරඟය දෙපිලටම එක ලෙස වැදගත් තරඟයක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිර 04 දෙනාගේ වටයේ පළමු තරඟයේදී බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වුණේ කඩුලු 04කින්.

එම තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂතා දැක්වීමට අසමත් වීම තරඟය පරාජය වීමට බලපෑ ප්‍රධානතම හේතුව බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දුන්නා.

එමෙන්ම එම තරඟයට තෝරා ගත් පන්දු යවන්නන් සම්බන්ධයෙන්ද ඇතැම් විචාරකයින්ගේ විවේචන එල්ල වුණා.

ඔවුන් පෙන්වා දුන්නේ මහීෂ් තීක්‍ෂණ හෝ මතීෂ පතිරණට කණ්ඩායමේ ස්ථානයක් ලබා දිය යුතුව තිබු බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංකගෙන් කරුණු විමසිමක් කළා.

මේ, ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි.