අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ මහතා සැප්තැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් නාලක සංජීව ජයසූරි මහතා අද නියෝග කළා. ඒ, තම බිරිඳ ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට අනුරාධපුර, ශ්‍රාවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල්තලාවක් මත පිහිටි දේවාලයක් ඇතුළත නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරෙන් කැනීම් කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවට අදාළවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සැප්තැම්බර් පළමුවන දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී නියෝග කළා. සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සියලු‍ සැකකරුවන් සැප්තැම්බර් 01 දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අට දෙනාද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.