පොලිස් නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සිදු කෙරෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව, සේවයේ අවශ්‍යතාවය මත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

පොලිස් ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව කියා සිටියා.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු වසර තුනක කාලයකින් පසු ස්ථාන මාරුවීමක් සඳහා සුදුසුකම් ලබන බවයි එහි සඳහන් වන්නේ.

පොලිස් නිලධාරියෙකුගේ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින අවස්ථාවකදී තවදුරටත් එම නිලධාරියා ස්ථානාධිපති ධූරයේ තබා ගැනීම සුදුසු නොවන බැවින් ද ස්ථාන මාරු සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙනවා.

දූෂිත ක්‍රියා හෝ විෂමාචාර ක්‍රියා පිළිබඳව වාර්තා වීම් සහ ඊට අදාළ විමර්ශන කටයුතුවලින් පසුව ද ස්ථාන මාරුවීම් ලබාදීම සිදු කෙරෙනවා.

මානූෂීය හේතූන් මත කරන ඉල්ලීම් සහ සේවයේ අවශ්‍යතාවය මතද ස්ථාන මාරුවීම් ලබාදෙන බවද එම නිවේදනයේ සඳහන්.

මෙලෙස සමස්ත දිවයින තුළ ඇති පොලිස් ස්ථාන 608හි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු, ක්‍රියාකාරී කොට්ඨාස 59ක ස්ථානාධිපතිවරුන් මෙන්ම සහකාර පොලිස් අධිකාරි දිස්ත්‍රික්ක 196ක රාජ්‍ය

නිවේදිත නිලධාරින් වෙත ද විවිධ අවස්ථාවන්වලදී ඉහත නිර්ණායක හා රාජකාරි අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබාදෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ඉකුත් කාල සීමාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ඇතුලු පොලීස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීම සිදු කෙරුණා.