ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළවයි.

ඒ අනුව 2014 වසරේ ජනවාරි 22 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL-319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4,512ක් පාඩු කිරීම ඔහුට එල්ල වී ඇති පළමු චෝදනාව වනවා.

නිශාන්ත වික්‍රමසිංහ මහතා එල්ල වී ඇති දෙවන චෝදනාව වන්නේ 2014 වසරේ ජනවාරි මස 26 වනදා මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL-563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීමයි.

2015 වසරේ දෙසැම්බර් මස 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම ඔහුට එල්ල වී ඇති තෙවන චෝදනාව වනවා.
අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.