නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්.

තහනම් දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතය, නීති විරෝධි පන්නක්‍රම භාවිතය, රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් ධීවර කටයුතු සිදු කිරීම ආදී නීතිවිරෝධී ක්‍රම මගින් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 36 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. එහිදී ඩිංගි යාත්‍රා 13ක් සහ කැනොයි ඔරු දෙකක්ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, කුච්චවේලි, මුලතිව්, කොඩ්බේ, මූතූර්, මන්නාරම සහ මඩකලපුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ සාම්පූර් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.