නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවර ප්‍රදේශයේ පදිංචි වසන්ත විජේවර්ධන නමැති නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා.
විශ්‍රාමික මේජර් ඩබ්ලිව් . ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාණ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
පැමිණිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ 2006 වසරේ මාර්තු මස පළවනදා සහ 2007 වසරේ පෙබරවාරි මස 15 වන දා නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ බවයි.
එම සේවාව සැපයීම සඳහා වගඋත්තර කාර නීතීඥවරයා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 50000 මුදලක් අත්තිකාරම් වශයෙන් පැමිණිලිකරුගෙන් ලබාගෙන තිබේ.
නමුත් පොරොන්දු වූ පරිදි වග උත්තරකාර නීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම නිසා තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල් ආපසු ලබාදෙන ලෙස පැමිණිලිකරු ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මෙම වග උත්තරකාර නීතිඥවරයා අදාල ලේඛන හා මුදල් නිසි පරිදි භාරදීම පැහැර හැරීම නිසා පැමිණිලකරු විසින් 2008 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
මෙම පැමිණිල්ල පදනම් කරගෙන උත්තරකාර නීතිඥවරයාට එරෙහිව නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම යටතේ චෝදනා පත්‍ර ගොනුකර නඩු විභාගයක් පවත්වන ලදී.
දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරු නීතීඥ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළහ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ශිරාන් ගුණරත්න කියා සිටියේ " මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරු නීතිඥ වෘත්තීයේ ගෞරවයට දැඩි හානියක් සිදු කර තිබේ. ඔහුගේ ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත කළ නොහැකිය.
නීතිය ක්‍රියාත්මක කිරීම යනු පුද්ගලික වාසි තකා සූරාකෑමට ඇති වරප්‍රසාදයක් නොවේ. නීතිඥවරයෙකු වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු නොකරන අවස්ථාවක ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසය පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය වේ. නීතිඥ වෘත්තිය යනු හුදෙක් වෘත්තියක් නොවේ. එය ගෞරවනීය මහජන විශ්වාසයකි." යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා වගඋත්තරකරු නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් තීන්දු කළා.
ඒ අනුව 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42(2) වගන්තියේ නියමයන් අනුව ඔහුගේ නම නීතීඥ නාම ලේඛනයෙන් කපා හරින ලෙස නියෝග කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නියෝග කරනු ලැබුවා.