නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන පැමිණි මගී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසට ලැබී තිබූ බුද්ධි තොරතුරු මත කටුනායක ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ ගෙන යාමට තැත් කිරීමේදී මෙම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මෙම මගී කාන්තාව කොළඹ , කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .
ඇය මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1173 දරන ගුවන් යානයෙන් ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් ඔතා සගවා ගෙන පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , කහ ඇනකොන්ඩා ( Yellow Anaconda ) , බෝල් පයිතන් ( Ball Python ) , ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් ( Speckled King Snake ) සහ හොන්ඩියුරානු කිරි සර්පයා ( Honduran Milk Snake ) යන වර්ග වල සර්පයන් 06 දෙනෙකු මෙම කාන්තාව විසින් රැගෙන විත් තිබුණි .
මෙම සර්පයන් අලෙවි කිරීම සදහා ඇය රැගෙන විත් තිබූ අතර , ඔවුන් මිළදී ගෙන මද කළක් ගිය පසු විශාල ශරීර ඇති සර්පයන් බවට පත් වීමත් සමගම , ඔවුන් තවදුරටත් සිය නිවෙස් වල තබා ගැනීමට අසීරු නිසා , මෙරට වනාන්තර සහිත ප්‍රදේශ වෙත මුදා හැරීම සිදු කිරීම නිසා , මෙරට පරිසර පද්ධතියට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව රේගු නිලධාරීන් සඳහන් කර සිටියේ.
එසේම ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම නීතිවිරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් වන අතර , මේ පිළිබද ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් රේගු පරිශ්‍රය වෙත කැදවා දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
රේගු විමර්ශන වලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන ලෙසද රේගු නිලධාරීහු නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශාල වශයෙන් ගෘහාශ්‍රිතව සර්පයන් ඇති කිරීම සිදු වන අතර , ඔවුන්ගේ ආහාර පිණිස සුදු පැහැති කුඩා මීයන් විශේෂයක් ද , විශාල වශයෙන් මෙරටට ආනයනය කෙරෙමින් පවතින බවයි රේගු නිලධාරීහු වැඩිදුරටත් පවසා සිටියේ.





