අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදු වූ බව කියන සංවාදයක් සම්බන්ධයෙන් නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූට් කළ අදහස් දැක්වීම ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ එවැනි සාකච්ඡාවක් කිසිදා සිදු නොවූ බවයි. එබැවින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශමෙන් ක්‍රියා කරන ලෙස ඉන්දියාව නේටෝ නායකත්වයෙන් ඉල්ලා තිබේ. එක්සත් ජනපද තීරුබදු ක්‍රියාමාර්ගවලින් පසු රුසියාවේ යුද උපායමාර්ගය පිළිබඳව අගමැති මෝදි පුටින්ගෙන් පැහැදිලි කිරීම් ඉල්ලා ඇති බව රූට් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව එම ප්‍රකාශය කර තිබේ. ඒ අනුව ඉන්දීය විදේශ අමාත්‍යශය පවසන්නේ එම ප්‍රකාශය සත්‍ය වශයෙන්ම වැරදි සහ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි. එමෙන්ම නේටෝවේ ඉහළම නායකත්වය ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීමේදී නිරවද්‍යතාවය සහතික කළ යුතු බව ද ඉන්දියාව අවධාරණය කර තිබේ.