සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. රට සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මක් කරා ගමන් කිරීම වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නා. ඒ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන අතර මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ පළාත් පාලන ආයතන සඳහා 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයට මෙන්ම, 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්. අධ්‍යාපන, සෞඛ්‍ය සහ මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළ විසඳුම් සහ යෝජනා පිළිබඳවද සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. විදේශ ණය සහ ආධාර යටතේ මෙරටට හිමිවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විශේෂ ව්‍යාපෘති කාර්යාල ගොඩනඟමින් ඒ වෙනුවෙන් විශාල පරිපාලන වියදමක් දරනවා වෙනුවට පවතින පරිපාලන ව්‍යුහය තුළ කටයුතු කළ යුතුයි. අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නා. පාසල් පද්ධතිය විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳව ද අවධානය යොමු වූ අතර කලාප මට්ටමින් එක් එක් පාසල් වෙත ගොස් එම පාසල් පිළිබඳව සමීපව අධ්‍යයනය කර සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් හොඳම විසඳුම ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.