බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. වයඹ පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ක 5‍0ක පමණ තද සුළං ඇතිවිය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද දින සිට ලබන 07 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දින දහවල් 12.11ට නාගදීපය, පුනරීන්, මානෙල්කාඩු සහ අලියාවලෙයි ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.