ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතු වී ඇති ගැටලු සම්බන්ධව එහිදී සමාලෝචනයට ලක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

තේ දලුවල ගුණාත්මකභාවය සහ තේ වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම, නව අන්තර්ජාතික වෙළෙඳපොළ අවස්ථා සෙවීම ආදී කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

තේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර ඒවාට ලබාදිය හැකි සාධනීය විසදුම් ලබා දීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

තේ වගාව සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම ඇතුළු තේ වගාව සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම, තේ නිෂ්පාදනයේදී ප්‍රමිතිය බාල කරන කර්මාන්ත ශාලාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ සංගමය එහිදී රජයෙන් ඉල්ලීමක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

තේ කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, කුඩා තේ වතු හිමියන් සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වේදිකාවක් ගොඩනඟා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව ඇති තවත් කරුණක්.

ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවයි ජනාධිපති ලේකම්වරයා විසින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එමගින්, තේ කර්මාන්තයේ මතුවන ගැටලු සවිස්තරව විමර්ශනය කර, කඩිනම් හා කාර්යක්ෂම විසඳුම් ලබා ගැනීම අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය යන ආයතනවල නිලධාරීන් මෙන්ම තේ ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ සංගම්වල නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.