පානදුර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඔහුගේ නිවස තුළම මියගොස් තිබෙනවා. ඝාතනයට ලක්ව ඇති තැනැත්තා නිවසේ නිදා සිටියදී යතුරුපැදියකින් නිවස ආසන්නයට පැමිණි දෙදෙනකු ඔහුගේ නම කියා කතා කොට අදාල නිවසේ දොර විවෘත කිරීමත් සමග එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගිය පුද්ගලයාගේ හිසට සහ ගෙල ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවද පොලිසිය පැවසුවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිල්හාර ප්‍රනාන්දු නමැති 55 හැවිරිදි එක්දරු පියෙකු බවයි පැවසෙන්නේ. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පානදුර නිලංග නමැති අයෙගේ බිරිඳගේ පියා බවට හඳුනාගෙන ඇති බවද පොලිසිය පැවසුවා. එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් වෙඩි ප්‍රහාර ඉල්ල කිරීමෙන් පසු ගිනි අවියෙන් නිකුත් වූ හිස් කොපු රැගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ, බණ්ඩාරගම සහ හිරණ යන පොලිස් ස්ථාන සහ කළුතර අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරනවා.