මහනුවර, හන්තාන ප්‍රදේශයේදී පාසල් ළමුන් රැගෙන ගිය බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරිය ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන් තිදෙනා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඉකුත් 25 වනදා අනුරාධපුරයේ සිට හන්තාන කඳුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ආ පෞද්ගලික බස් රථ රියදුරෙකුට මෙම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය මුගුරකින් පහර දී තිබුණා.

හන්තාන කඳුවැටිය නරඹා බස් රථය ආපසු මහනුවර දක්වා පැමිණෙමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක බස් රථය ගැටී තිබෙනවා.

එයින් උරණ වූ මෙම පිරිස බස් රථය නතර කර රියදුරු අසුනෙන් ඇද එලෙස පහර දී තිබුණා.