ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති අවසන් තරඟය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 202ක් රැස් කළා. එහිදී අභිෂේක් ෂර්මා පන්දු 31කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 61ක්. තිලක් වර්මා නොදැවී ලකුණු 49ක් රැස් කළා. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, දසුන් ශානක සහ චරිත් අසලංක අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ජයග්‍රාහී ලකුණු 203ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ද නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු පහක් දැවී ලකුණු 202ක් රැස් කළා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 07ක් ලෙස සටහන්ව තිබියදී පළමු පන්දු වාරයේ සිව්වන පන්දුවේදී කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 58කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 107ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 06ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් වුණා. ඔහුට අනගි සහයක් ලබාදුන් කුසල් පෙරේරා ලකුණු 58ක් රැස් කළා. දසුන් ශානක පන්දු 11කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 22ක්. නායක චරිත් අසලංක ලකුණු 05කටත් කමිදු මෙන්ඩිස් ලකුණු 03කටත් දැවී ගියා. දෙපිලම ලකුණු 202 බැගින් රැස් කිරීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී රැස් කළේ ලකුණු 02ක් පමණයි. ඊට පිළිතුරු ලෙස සුපිරි පන්දු වාරයේ පළමු පන්දුවේදීම ලකුණු 03ක් රැස් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පස මිතුරන් වන ඉන්දීය සහ පකිස්තාන කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි.
Published